නිශ්ශංකමල්ල රජ
හැඳින්වීම
කිර්ති නිශ්ශංක සහ කාලිංග ලෝකේශ්වර යන නම් වලින් ද හැඳින්වූ නිශ්ශංකමල්ල රජතුමා ක්‍රි.ව. 1187 සිට 1196 දක්වා වසර නවයක් ශ්‍රී ලංකාව පාලනය කළේය. මහා පරාක්‍රමබාහු රජතුමාගේ අනුප්‍රාප්තිකයා වශයෙන් රාජ්‍ය බලය හිමිකර ගත් විදේශීය කුමාරවරයකු වූ මොහු ඉන්දියාවේ කාලිංගයෙන් පැමිණි වංශිකයෙකි. රජු විසින් නිශ්ශංක ලතා මණ්ඩපය, හැටදාගේ සහ රන්කොත් වෙහෙර වැනි සුවිශේෂී ඉදිකිරීම් සිදු කළ අතර, පැරණි විහාර සහ වැවු රැසක් ප්‍රතිසංස්කරණය කරන ලදී.
නිශ්ශංකමල්ල රජු පිළිබඳ තොරතුරු මූලාශ්‍ර
නිශ්ශංකමල්ල රජතුමා පිළිබඳ තොරතුරු ගවේෂණය කරන්නෙකුට සාහිත්‍ය මූලාශ්‍ර සහ සෙල්ලිපි යන අංශ දෙකෙන්ම තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.
සාහිත්‍ය මූලාශ්‍ර
විශේෂයෙන්ම සාහිත්‍ය මූලාශ්‍රයන් අතරින් මහා වංසයෙහි දෙවැනි කොටසට හිමිවනුයේ අද්විතීය ස්‌ථානයකි. දඹදෙණි යුගයේදී මයුරපාද පරිවෙණාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචිත පූජාවලිය තුළින් ද නිශ්ශංකමල්ල රජු පිළිබඳ තොරතුරු රැසක්‌ම ලද හැකිය. පූජාවලියට අනුව නිශ්ශංකමල්ල රජු පිළිබඳව මෙසේ සඳහන් වේ:
”… ඔහු මරා කාලිංගයෙන් ආ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල නම් රජ බොහෝ පින් රැස් කොට නව හවුරුද්දක් රජ කළේය.”
එසේම රාජාවලිය, දළදා සිරිත සහ රාජරත්නාකරය වැනි සාහිත්‍ය මූලාශ්‍රයන් ද රජු පිළිබඳ වැදගත් තොරතුරු සපයයි.
සෙල්ලිපි
නිශ්ශංකමල්ල රජු පිළිබඳ තොරතුරු සපයන මූලාශ්‍රයන් අතර සෙල්ලිපි සඳහා ද සුවිශේෂී ස්‌ථානයක් හිමි වේ. ලංකාවේ වැඩිම සෙල්ලිපි ප්‍රමාණයක් පිහිටුවීමේ ගෞරවය හිමිවනුයේ ද නිශ්ශංකමල්ල රජතුමාටය. රජු විසින් පිහිටුවන ලද සෙල්ලිපි අතර ගිරිතලේ ගල් ආසන ලිපිය, ගල්පොත ලිපිය, වැලිගහවත්ත ලිපිය, කටුගහගල්ලේ ලිපිය සහ රාමේශ්වරමේ ලිපිය ප්‍රධාන ස්‌ථානයක් ගනී. මෙම සෙල්ලිපි තුළින් නිශ්ශංකමල්ල රජු තුන් රජය පැදකුණු කිරීම, දුස්‌ථ ලංකාවාසීන් සුස්‌ථ කිරිම, පාණ්‌ඩ්‍ය රාජ්‍ය ජයග්‍රහණය කිරීම මෙන්ම නිශ්ශංකමල්ල රජු විදේශ රාජ්‍යයන්ගෙන් පුද පඬුරු ලැබීම යනාදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය වේ.
පුරාවස්‌තු
නිශ්ශංකමල්ල රජු පිළිබඳ තොරතුරු සපයන තවත් වැදගත් මාධ්‍යයක් වන්නේ පුරාවස්‌තුය. නිශ්ශංකලතා මණ්‌ඩපය, හැටදාගෙය සහ වටදාගෙය වැනි ඉදිකිරීම් ඔහුගේ රාජ්‍ය සමය පිළිබඳ සාක්ෂි දරයි.
විජාතික පාලකයෙකු ලෙස අභියෝග ජය ගැනීම
විදේශීය වංශිකයෙකු ලෙස නිශ්ශංකමල්ල රජුට මෙරට රාජ්‍ය බලයට පත්වීම මහත් අසීරුතාවක් විය. ලාංකීය ජනතාව විදේශීය පාලකයකු මෙරට පාලන කටයුතු මෙහෙයවීම අනුමත නොකළ බැවින්, රජුට ජනතාව අතර කැපී පෙනෙන චරිතයක් බවට පත්වීමට සිදුවිය. මේ සඳහා ඔහු විවිධ උපක්‍රම සහ විරුද නාමයන් භාවිතා කළේය.
විරුදනාමයන් භාවිතය
නිශ්ශංකමල්ල රජු තම අභිමානය ගොඩනැංවීම උදෙසා