මහාදාඨික මහානාග රජතුමා
හැඳින්වීම
භාතික රජතුමාගේ අභාවයෙන් පසුව ඔහුගේ මළනුවන් වූ මහාදාඨික මහානාග රජතුමා සිහසුනට පත්විය. එතුමා වසර දොළොසක් පුරා රාජ්‍ය පාලනය කළේය. නොයෙක් ආකාර වූ පින්කම් සිදුකළ එතුමා බෞද්ධ ශාසනයට සහ ජනතාවට මහත් සේවාවක් ඉටු කළේය.
මහා සෑයට කළ සේවාවන්
මහාදාඨික මහානාග රජතුමා මහාසෑයේ (රුවන්වැලි සෑයේ) ගලින් කළ පේසාවළල්ලට පහළින් කිඤ්ජක්ඛ නම් පියුම් කැටයම් කළ ගල් ඇතිරවීමට කටයුතු කළේය. එසේම, වැලි මළුව විශාල කරවා සෑදවීමටද එතුමා නියෝග කළේය.
අම්බස්ථල මහා සෑය සහ ගිරිභණ්ඩ මහාපූජාව
මහාදාඨික මහානාග රජතුමාගේ ප්‍රධානතම ආගමික මෙහෙවරක් වූයේ මිහින්තලේ අම්බස්ථල මහාථූපය ඉදිකිරීමයි. එහි නෙරා සිටින තැන් කරවා, සෑ බැම්ම සවිමත්ව නොපිහිටන විට භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහි කරමින් තම ජීවිතය පූජා කරමින් එතැන වැතිරී සෑ බැම්ම ස්ථිරව පිහිටුවා සෑයේ කටයුතු සම්පූර්ණ කළේය.
දක්ෂ ශිල්පීන් ලවා සියුම් කැටයම් කරවා අම්බස්ථල මහා සෑයේ සතර දොරටුවේ රුවන්කණු සතරක්ද එතුමා විසින් පිහිටුවන ලදී. චෛත්‍යයට රන් කම්බිලියෙන් කළ නොයෙක් රුවනින් යුත් කඤ්චුකයක් පළඳවා, රන් බුබුළුවලින් කළ මුතුවැලක් එල්ලවීමට ද රජතුමා කටයුතු කළේය.
ගිරිභණ්ඩ මහාපූජාව
අම්බස්ථල මහාසෑයට මහාදාඨික රජතුමා විසින් කරවන ලද අතිශය සුන්දර මහා පූජාව ‘ගිරිභණ්ඩ මහාපූජාව’ ලෙස ප්‍රකටය. මෙම පූජාව සඳහා:
- සෑගිරිය පර්වතය අවට යොදුනක් පමණ දුර අලංකාර ලෙස ගමන් මාර්ග සතරක් කරවා සතර පැත්තේ දොරටු සතරක් තැනෙව්වේය.
- වීදිය දෙපැත්තේ සල්පිල් කරවා, ධජ – මල්කරඬු – තොරණ් ආදියෙන් ඒ ඒ තැන සැරසෙව්වේය.
- අවට හැම තැනම පහන් පේළිවලින් බැබළීමට සැලැස්වීය.
- නැට්ටුවන්ගේ රැඟුම්, ගී ගැයුම්, වාදන ආදිය පැවැත්වීමට කටයුතු කළේය.
- කොළොම්හොයේ පටන් සෑගිරිය දක්වා මාර්ගයේ පා දෝවනය කරමින් යන්ට හැකිවන පරිදි කළාල ඇතිරවීය.
- එම මාර්ගයේ ද නැටුම්, ගැයුම්, වැයුම්, නාටකයන් ආදිය පැවැත්වීය.
- නගරයේ දොරටු සතරේ මහා දන් දුන්නේය.
- මුළු ලක්දිව නිරතුරුව පහන් පෙළින් ආලෝකවත් කළේය.
- හාත්පස මුහුදේත් යොදුනක් ඇතුළත පහුරු බැඳ, කණු සිටුවා, ඒ ඒ තැන්වල පහන් දැල්ලවීය.
මෙම පූජාව වෙනුවෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේලාට රජතුමා අට තැනක දන්පොළවල් පිහිටුවා, රන් බෙර ගස්සවා විසිහතර දහසක් භික්ෂූන් වහන්සේලාට මහා දන් පැවැත්වීය. එසේම, තුන් සිවුරු සය වතාවක් පූජා කළේය.
වෙනත් පින්කම් සහ සමාජ සේවාවන්
මහාදාඨික මහානාග රජතුමා ලංකාවේ සෑම විහාරයකටම ධර්මාසන කෙරෙව්වා. බන්ධනගතව සිටි සත්වයන් නිදහස් කෙරෙව්වා. සෑම විටම නගරයේ සතර දොරටුවේ කරණවෑමියන් ලවා රැවුල් කැප්පෙව්වා. පෙර රජවරුන් විසින් පවත්වාගෙන ආ සියලු පින්කම් ද, තමන්ගේ වැඩිමහළු සොහොයුරු භාතික රජතුමා පවත්වාගෙන ආ සියලු පින්කම් ද එතුමා අකුරටම ඉටු කළේය.
සංඝයා වහන්සේට කළ පූජාවන්
මහාදාඨික මහානාග රජතුමා තමාත්, බිසවද, ගාමිණී අභය හා තිස්ස යන පුත් කුමාරවරුන් දෙදෙනාත්, මගුල් ඇතාත්, මගුල් අශ්වයාත් සංඝයා විසින් වළක්වද්දීත් සංඝයාගේ දාසයන් ලෙසට පැවරුවේය. එසේම, භික්ෂූන් වහන්සේලාට කහවණු හය ලක්ෂයක් වටිනාකම ඇති සිවුරු පිරිකර ආදිය ද, භික්ෂුණීන් වහන්සේලාට කහවණු ලක්ෂයක් වටිනාකම ඇති සිවුරු පිරිකර ද පූජා කළේය. පසුව, කරුණු ගැලපීමෙහි දක්ෂ වූ රජතුමා විවිධාකාර කැප භාණ්ඩ පූජා කරලා තමන්වත්, අනිත් බිසව ආදී පිරිසත් සංඝයාගේ දාසභාවයෙන් මුදවා ගත්තේය.
රුහුණේ විහාර ඉදිකිරීම්
මහාදාඨික මහානාග රජතුමා රුහුණු ජනපදයේ ද විහාර ගණනාවක් ඉදිකළේය. ඒවා අතර:
- කාලායන නම් කඳු මුදුනේ මණිනාග පර්වතය නමින් විහාරයක්.
- කළන්ද නමින් විහාරයක්.
- කුබුකන්දන හොය ඉවුරේ සමුද්‍රවිහාරය නමින් විහාරයක්.
- රුහුණේම හුවාව නැමැති කඳු මුදුනේ චූළනාග පර්වතය නමින් විහාරයක්.
ඉඩම් පූජා කිරීම්
රජතුමා තමන් විසින් කරවන ලද පාසාණදීපක විහාරයේදී තමන්ට පැන් ගෙනැවිත් දුන් සාමණේරයන් වහන්සේලාගේ මනා සංවර වූ පැවැතුම් ගැන පැහැදී හාත්පස යොදුන් අටක නින්දගමක් සංඝභෝගයක් කොට ඒ විහාරයට පූජා කළේය. මණ්ඩවාපි විහාරයේදී ද රජතුමාට පැන් ගෙනැවිත් දුන් තවත් සාමණේර නමකගේ සංවරකමට පැහැදී ඒ විහාරයටත් නින්දගමක් සංඝභෝගයක් වශයෙන් පූජා කළේය.
උරුමය
මහාදාඨික මහානාග රජතුමා තම දොළොස් වසරක පාලන සමය තුළදී අනුරාධපුර රාජධානියේ බෞද්ධ ශාසනයට මහත් සේවාවක් ඉටු කළේය. අම්බස්ථල මහා සෑය ඉදිකිරීම, ගිරිභණ්ඩ මහාපූජාව පැවැත්වීම, විහාරාරාම ඉදිකිරීම සහ සමාජ සේවාවන් රැසක් ඉටු කිරීම තුළින් එතුමා ධර්මාශෝක රජතුමාට සමාන පින්කම් රැසක් කළ රජවරයෙකු ලෙස ඉතිහාසයේ සටහන් වේ.