පළමුවන කාශ්‍යප රජු ධාතුසේන රජුගේ දෙටු පුත්‍රයා වූ අතර, පර්වත රාජ හෙවත් අලකපය මහ රජ යන නම්වලින් ද හඳුන්වනු ලැබීය. පල්ලව රාජ වංශික බිසවකගෙන් උපන් හේතුවෙන් ඔහුගේ මව භින්න මාතෘක වූවාය. මුගලන් කුමරු ධාතුසේන රජුට දාව කාශ්‍යප රජුගේ දියණියගෙන් උපන්නෙක් වූ හෙයින් ඔහු සමාන මාතෘක විය. හෙළ කුලසිරිතට අනුව සිංහාසනයට උරුමය හිමි වූයේ උභයකුල පාරිශුද්ධත්වය හිමි මුගලන් කුමරුටය.
සිහසුනට පත්වීම
දකුණු ඉන්දියාවෙන් පැමිණි ආක්‍රමණයකදී භාරතීය සේනාව සමඟ යුධ වැදීමට කාශ්‍යප කුමරුට සිදුවිය. මෙම යුධ ජයග්‍රහණයෙන් පසු, ඔහු සිය පිය රජුගෙන් යුවරජු තනතුර බලාපොරොත්තු වුවද, එය ඉටු නොවීය. ඉන් කලකිරීමට පත් කාශ්‍යප කුමරු, චූල වංශයට අනුව, ක්‍රි:ව:112 දී විහාර සෙන්පතියා සමඟ කුමන්ත්‍රණය කර ධාතුසේන රජු සිහසුනෙන් නෙරපා හැර රාජ්‍ය පවරා ගත්තේය.
පිතෘ ඝාතකයෙක්ද?
වංශකථාවල කාශ්‍යප රජු පිතෘ ඝාතකයෙක් ලෙස සඳහන් වන බැවින් ඔහු ජනතා අප්‍රසාදයට පත්ව සිටියේ යැයි පූර්ව නිගමනය කළ හැකි වුවද, ඊට හාත්පසින්ම වෙනස් මතයක් වංශකථාගත තොරතුරු මතින්ම හෙළිවේ. ධාතුසේන රජු දේශයේ අභිවෘද්ධියට ක්‍රියා කළද, සිය නැඟණිය ගින්නෙහි ලා පුලුස්සා මැරවීමට තරම් දරුණු හිතැත්තෙක් විය. එමෙන් ම, ධාතුසේන රජු පල්ලව රාජ වංශික කාන්තාවක් හා විවාහ වී පල්ලව සේනාවක් රැගෙන ලක්දිවට පැමිණ, එවකට මෙහි පාලනය කළ ලම්බකර්ණ වංශිකයන් ඉවත් කොට පාලන බලය ලබාගත් මෞර්යයෙකි. ඇතැම් විට මෙම පල්ලව පිරිස්වල සහයෝගය මව් පාර්ශ්වික ඥාතිත්වය මත කාශ්‍යප කුමරුට හිමිවන්නට ඇත.
ධාතුසේන රජු ජනප්‍රිය පාලකයෙකු වී නම්, ඔහුගේ ඝාතනයෙන් පසුව කාශ්‍යප කුමරුට විරුද්ධව කැළඹීමක් ඇති විය යුතු ය. ඓතිහාසික පුරාවෘත්තවලින් සනාථ වන්නේ මිගාර විසින් කාශ්‍යප රජුගේ බිසව හා කුමන්ත්‍රණය කර, බිසව මාර්ගයෙන් රජු සීගිරි පර්වත මුදුනට ගෙන ගොස් පෙරළා දමා හෝ වෙනත් ක්‍රමයකින් රජු මරුමුවට පත් කළ බවකි. තවත් මතයක් නම්, කාශ්‍යප විසින් ධාතුසේන රජුගෙන් ඉල්ලූ නිධානය නොදුන් නිසා කලා වැවේ බැම්මට තබා මැටි ගසා ධාතුසේන රජු මැරූ බවයි. කෙසේ වෙතත්, කාශ්‍යප රජු පියා මැරීම පිළිබඳව බලවත් ලෙස සිත් තැවුලට පත් වූ බැවින් බොහෝ සෙයින් පින් රැස් කළ බව සඳහන් වේ.
සීගිරිය නිර්මාණය
වංශකථාවට අනුව කාශ්‍යප රජු සීගිරිය කරවූයේ මුගලන්ගෙන් එල්ල වේ යැයි සිතූ තර්ජනයට බියෙනි. එහෙත්, එහි නටබුන් අනුව මහාචාර්ය සෙනරත් පරණවිතාන සඳහන් කරන්නේ, සීගිරියේ ඉදිකිරීම් සඳහා වැය කළ හත්කෝටියක ධනස්කන්ධය ද, සුවිසල් මිනිස් ශ්‍රම ශක්තිය ද බලන කළ එහි බලකොටුවක් වශයෙන් ඇති අගය සීමා සහිත බවයි. සීගිරි කැටපත් පවුර, වේදිකාව කෙළවර පිහිටි මහා සිංහ රූපය, සිංහ ශරීරය තුළින් පර්වත ඉස්මත්තට විහිදුණු පියගැටපෙළ සහ පර්වත මුහුණත වූ ලලනා රූ රැගත් සිතුවම් යුධ බලකොටුවකට කිසිදු සබඳතාවක් නොවූ අංග ලක්ෂණ බව පරණවිතාන මහතා පෙන්වා දෙයි.
සීගිරි පර්වත මුදුණේ නටබුන් අනුව මිනිස් වාසය සඳහා එහි තිබුණේ එක් කාමරයකින් යුත් ගෘහයක් පමණි. ඒ අනුව, සීගිරිය කලා කෞතුකාගාරයක් හෝ විනෝද මණ්ඩපයක් විය යුතුය. කලාකාමියෙකු වූ කාශ්‍යප රජුට සුන්දර පරිසරයක අවශ්‍යතාව මත කුවේරයාගේ ආලකමන්දාවටත් වඩා අලංකාර ලෙස සීගිරිය නිර්මාණය කළ බව පුරාවෘත්ත හෙළිදරව් කරයි. මෙම සුවිසල් කලා ශිල්ප ප්‍රමාණය නිමවීමට වසර 18ක් වැනි එක් රාජ්‍ය පාලන කාලයක් පමණක් ගතවීමද සුවිශේෂී වේ. සියවස් ගණනක කලා ශිල්ප ප්‍රමාණයක එකතුවක් අපට සීගිරිය තුළින් දැකගත හැකිය.
ආගමික හා සමාජයීය කටයුතු
සීගිරිය අසල පිහිටි පිදුරන්ගල වෙහෙර ද කාශ්‍යප රජුගේ ආගමික ගොඩනැඟීමක් වේ. ඔහු සිය පියා මැරීම පිළිබඳව බලවත් ලෙස සිත් තැවුලට පත් වූ බැවින්, බොහෝ සෙයින් පින් රැස් කළ බව සඳහන් වේ.
පාලන කාලය සහ උරුමය
පුරා වසර දහඅටක් රජ කළ කාශ්‍යප රජු විශාල ජන ප්‍රසාදයක් ලබා සිටි බව චූලවංශ කතුවරයා සඳහන් කරයි. මෙම තොරතුරු අනුව බලන විට, කාශ්‍යප රජු ජන අප්‍රිය රජෙකු නොවූ බවත්, සීගිරිය ද බලකොටුවක් නොවන බවටත් සිතීමට බොහෝ සාධක ඉතිරිව ඇති බව සඳහන් කළ හැකිය. කාශ්‍යප රජු ශ්‍රී ලංකා ඉතිහාසයේ කලාකාමී, දූරදර්ශී සහ ජනතා ප්‍රසාදය දිනාගත් පාලකයෙකු ලෙස සදා අමරණීය වේ.