පළමුවන සේන රජු
හැඳින්වීම
පළමුවන සේන යනු ක්‍රි.ව. 9 වැනි සියවසේ අනුරාධපුරයේ රජ කල රජකු වූ අතර, ඔහුගේ රාජ්‍ය කාලය ක්‍රි.ව. 846 සිට ක්‍රි.ව. 866 දක්වා පැවතුණි. ඔහු තම සොහොයුරු නවවැනි අග්ගබෝධිගෙන් පසුව අනුරාධපුරයේ රජු ලෙස පත් විය. ඔහුගේ රාජ්‍ය කාලය පාණ්ඩ්‍ය ආක්‍රමණයක් හේතුවෙන් සලකුණු වූ අතර, එය ලක්දිවට දැවැන්ත විනාශයක් ගෙන ආවේය.
රාජ්‍යාරම්භය
දෙවන දප්පුල රජුගෙන් පසු රජ වූ නවවැනි අග්බෝ රජතුමා වසර දෙකකින් මිය ගියේය. ඉනික්බිතිව, ක්‍රි.ව. 846 දී පමණ පළමුවන සේන රජතුමා අනුරාධපුරයේ සිහසුනට පත් විය.
පාණ්ඩ්‍ය ආක්‍රමණය සහ අනුරාධපුරයේ වැටීම
පළමුවන සේන රජුගේ රාජ්‍ය කාලය තුළ ලක්දිව යළිත් ද්‍රවිඩ ආක්‍රමණයකට ගොදුරු විය. මේ අවදියේ දකුණු ඉන්දියාවේ වැඩි කොටසක් ජටිල පරාන්තක නම් පාණ්ඩ්‍ය රජු විසින් යටත් කරගෙන ප්‍රබල රාජ්‍යයක් ගොඩනඟා තිබුණි. මොහුගෙන් පසුව රජ වූ ශ්‍රී මාර ශ්‍රී වල්ලභ රජු තම විජිතය වඩාත් විශාල කිරීමට අදහස් කොට ලංකාව ආක්‍රමණය කිරීමට සූදානම් විය. ඒ සඳහා විශාල සේනාවක් සහ නාවික හමුදාවක්ද ඔහු විසින් පිළියෙල කරන ලදී.
ශ්‍රී මාර රජු යටතේ ලක්දිව උතුරු වෙරළට ගොඩබට පාණ්ඩ්‍ය සේනාව ක්‍රමයෙන් අනුරාධපුරය දෙසට ගමන් කරන්නට විය. මේ සමයෙහි උතුරේ විසූ දෙමළ මිනිසුන් දකුණු ඉන්දියානු ද්‍රවිඩ සිය නෑයන්ගේ පාර්ශ්වය ගෙන ඔවුන්ගේ සේනා සමඟ එක් වූහ. සිංහල සෙනෙවියන් අතර පැවති අසමගිය නිසා සතුරු සේනාවට මුහුණ දීමට නිසි සේනා සංවිධානයක් කර ගත නොහැකි විය. වැඩි අපහසුවක් නොමැතිව ඉදිරියට ගමන් ගත් ද්‍රවිඩ සේනාව ගම් දනව් වනසමින්, කාන්තාවන් දූෂණය කරමින්, මංකොල්ල කමින් අනුරාධපුරය අසළටම ලඟා විය.
මිහිඳු නම් යුවරජු ඔවුන්ට මුහුණ දීමට එඩිතරව ඉදිරිපත් වූ නමුත් අතිවිශාල දෙමළ බලමුළුවට මුහුණ දී සටන් කිරීමට තරම් සිංහල සේනාව ප්‍රබල නොවීය. නමුත් මහත් චිත්ත ධෛර්යයකින් යුතු යුවරජු සතුරු සේනාවට මුහුණ ලා උග්‍ර සටනක් කළ නමුදු ඔහුගේ සේනාව විනාශ වී සීසීකඩ විසිර යන්නට විය. සතුරන්ට අසුවනවාට වඩා ගෞරවාන්විතව මියයෑම යෙහෙකැයි සිතු යුවරජු සියතින්ම ගෙල සිඳගත්තේය. තම ඉදිරිගමන අවහිර කළ ඉතුරු සිංහල සේනාවද පරාජය කළ දෙමළ සේනාව අනුරාධපුරයට ඇතුළු විය. රාජ මාළිගය, වෙහෙර විහාර, හා සිංහල ප්‍රධානීන්ගේ නිවෙස් ආදියද විනාශ කොට එහි වූ සියලු වස්තුව දෙමළ හේවායන් විසින් පැහැර ගන්නා ලදී. ස්ත්‍රීන් දූෂණය කරන ලද අතර, තමන්ට එදිරි වූ සියල්ලන් ඝාතනය කරන ලදී. ශතවර්ෂ බොහෝ ගණනකින් එබඳු කොල්ලයකට අනුරාධපුරය භාජනය වී නොතිබුණි.
සාම ගිවිසුම සහ රට ගොඩනැගීමේ උත්සාහය
සිය දිවි ගලවා ගැනීම සඳහා පලාගිය පළමුවෙනි සේන රජු නැව් නැඟ යාමට සූදානම්වත්ම පාණ්ඩ්‍ය රජුගේ දූතයෝ ඔහු සොයා ආහ. තම සේනාව විසින් පැහැර ගන්නා ලද සියලු වස්තුවත්, තව විශාල වන්දියකුත් ගෙවීමට එකඟ වෙතොත්, ලංකා රාජ්‍යය ආපසු භාරදී සිය සෙනග කැටිව පෙරළා තම රටට යාමට ශ්‍රී මාර රජු කැමති බව දූතයෝ දැනුම් දුන්හ. සේන රජු මෙම යෝජනාවලට එකඟ වූයෙන් විශාල යුද්ධ වන්දියක්ද රැගෙන පඬි රජු සිය සේනා රැගෙන පෙරළා සිය රට බලා පිටත්වූයේය. මේ අනුව, සම්පූර්ණ රාජ්‍යය විනාශ වීමෙන් වැළකී, පාණ්ඩ්‍ය හමුදාව ලක්දිවෙන් පිටත් විය.
පුත්‍රයාට දුන් පොරොන්දුව
යළිත් අනුරාධපුරයට පැමිණි සේන රජුට දෙමළුන් විසින් විනාශ කර දමන ලදුව අමු සොහොනක් මෙන් දිස් වූ රජ මාලිගය, විහාරාරාම ඇතුළු රජරට නැවත අලුතින් ගොඩ නඟන්නට සිදු ව තිබුණි. එනමුත් එහි පැරණි ශ්‍රී විභූතිය පෙරළා ලඟා කර ගැනීම පහසු කාර්යයක් නොවීය. සියල්ලට වඩා දෙමළ ආක්‍රමණය පරාජය කිරීමට නොහැකි වීම නිසා ජනිත වූ අවමානය රජතුමාගේ සිතට මහත් වේදනාවක් ගෙන දුන්නේය. හේ තම සිඟිති පුත්‍රයා උකුලට ගෙන මෙසේ පැවසුවේය:
“පුතේ.. උඹ නියම පිරිමියෙක් වගේ, නියම සිංහලයෙක් වගේ, කවදාහරි උඹේ මාතෘ භූමියට සහ උඹේ තාත්තට මුහුණ දෙන්න වෙච්ච මේ අවමානයේ, පරාජයේ, හා විනාශයේ පලිය ගන්න ඕන. උඹේ තාත්තා වෙනුවෙන් උඹ මේක කරන්නම ඕන. උඹ මේ මාතෘ භූමියේ අභිමානය හා රජරට ශ්‍රී විභූතිය පුනර් ස්ථාපනය කරන්න ඕන.”
කුඩා පුත්‍රයා එය ඉටු කරන බවට තම පියාට දිවුරුම් දුන්නේය. මේ අනුව, පළමුවන සේන රජු තම පුත් දෙවන සේනට අනාගතයේදී පාණ්ඩ්‍ය අධිරාජ්‍යයට එරෙහිව පළිගැනීමේ භාරදූර වගකීම පැවරීය.
අභාවය සහ අනුප්‍රාප්තිය
සිංහල ජනතාවගේ සහායයෙන් තමන්ට හැකි උපරිමයෙන් රට පෙරළා නඟා සිට වූ පළමුවන සේන රජතුමා ක්‍රි.ව 866 දී පරලෝ සැපත් විය. අනතුරුව ඔහුගේ පුත්‍රයා වූ දෙවන සේන රජු ලෙස රාජාභිෂේකය ලැබුවේය. ඔහු තම පියාට දුන් පොරොන්දුව ඉටු කරමින්, පසුව පාණ්ඩ්‍ය අධිරාජ්‍යයට එරෙහිව සාර්ථක යුද්ධයක් දියත් කළ බව ඉතිහාසයේ සඳහන් වේ.